Wednesday, June 18, 2014

ගැබිනි මවකට පැපොල වැළදුණොත් පැය 48ක් ඇතුළතදී ඖෂද ගත යුතුමය

ගැබිනි මවකට පැපොල වැළදුණොත් පැය 48ක් ඇතුළතදී ඖෂද ගත යුතුමය

ගර්භනී සමය කාන්තාවකගේ දිවියේ ඉතාම සුවිශේෂී අවධියක්. පවුලේ, සමාජයේ අවධානය ලබමින් ගෙවෙන අවධියක්. දෙදෙනකුගේ ජීවිත ගැන සැලකිල්ලෙන් ගෙවෙන අවධියක්. ඒ අවධියේ මවකගෙන් දරුවකුට යම් රෝගී තත්ත්වයක් සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ වැඩිබවත් අප තේරුම් ගත යුතුයි. 

ඒ අවධියේ වැළඳෙන සාමාන්‍ය රෝග තත්ත්වයක් පවා වඩා සංකීර්ණ තත්ත්ව කරා යන්නේ ගර්භනී සමයේ මවකගේ ප්‍රතිශක්තිය සාමාන්‍ය කාලවලට වඩා අඩු වන්නට පුළුවන් නිසයි. 

මෙවැනි අවස්ථාවකදී පැපොල (chiken pox) රෝග අවදානමකට මවකට මුහුණ දීමට සිදුවුවහොත් ඇති වන තත්ත්වයද වඩාත් සංකීර්ණ විය හැකියි. ඒ පිළිබඳ අද අදහස් දක්වන්නේ නාරි හා ප්‍රසවවේද විශේෂඥ වෛද්‍ය නන්දදේව සෙනෙවිරත්න මහතායි.

ගර්භනී සමයේ පැපොල ගැන අවධානයෙන් සිටිය යුත්තේ ඇයි?

  • ගර්භනී සමයේ පැපොල ඇතිවීම මවත්, දරුවාත් අවදානම් තත්ත්ව කරා රැගෙන යා හැකි අවස්ථාවක්. ඒ නිසා එය වළක්වාගත යුතු තත්ත්වයක් හැටියටයි සලකන්නෙ.
  • ඒ නිසා ගර්භනී තත්ත්වයට පත්වීමට සූදානමින් සිටින කාන්තාවක් තමාට කුඩා කාලයේ පැපොල සෑදී තිබෙනවාද නැද්ද යන්න දැන සිටීම හුඟක් වැදගත්. කෙනෙකුට ඒ පිළිබඳව තම දෙමවුපියන්ගෙන් දැනගත හැකියි.
නැතිනම් රුධිර පරීක්ෂාවකින් තහවුරු කරගතහැකියි. එසේ දැනුවත් වූ විට එක්කෝ පැපොල රෝගියකු ඇසුරෙන් රෝගය ශරීරගත කරවා ගත හැකියි. නැතිනම් පැපොල වැළැක්වීමට ඇති එන්නත ලබාගත හැකියි.
එහිදී පැපොල එන්නත විද්දායින් පසුව මාස තුනක් ගර්භනී වීම නුසුදුසුයි. එයට හේතුව එන්නත මගින් රෝගය පිට දැමීම වැළැක්වූවත් පැපොල වෛරස තවදුරටත් සිරුර තුළ රැඳී තිබෙන නිසයි.
රෝගය බෝ වන ක්‍රම මොනවාද?
කතා කිරීමේදී පිටවෙන කෙළ බිඳිති නිරෝගි පුද්ගලයකු ආඝ්‍රාණය කළොත්, රෝගියා අත ගෑ උපකරණ ඇල්ලුවොත්, රෝගියාව ස්පර්ෂ කිරීමෙන්, හෝ රෝගියකුට සාත්තු කිරීමේදී වෛරසය ශරීරයට ඇතුළු විය හැකියි.
එමගින් මතුවිය හැකි සංකූලතා මොනවාද?
  • එහි බලපෑම මවටත්, දරුවාටත් දෙදෙනාටම ඇතිවිය හැකියි. ගර්භනී සමයේ වෛරස් රෝගවලට මවගේ ප්‍රතිශක්තිය අඩුයි. ඒ නිසා පැපොල මගින් මවට නියුමෝනියාව සෑදෙන්නට හෝ අසාධ්‍ය තත්ත්වයක් කරා වුවත් යා හැකියි. එසේම හෙපටයිටීස් රෝගයට හෝ එන්සෙෆලයිටීස් (මොළයේ ආසාදන) වලට ගොදුරු විය හැකියි. ඒ අවස්ථාවේදී ඒවා අවදානම් තත්ත්ව වලට පවා යා හැකියි.
ගර්භනී සමයේ රෝග ලක්ෂණ මතු වුණොත් කුමක් කළ යුතු ද?
  • වහාම වෛද්‍යවරයකු හමු වී ඒ බව දැන්විය යුතුයි. ඒ අවස්ථාවේදී ලබා දෙන ඖෂධයක් තිබෙනවා. එය හඳුන්වන්නේ ඒසයික්ලොවා යන නමින්.
  • එයින් කරන්නේ රෝගය හැකිතාක් විනාශ කිරීම සහ අසාමාන්‍ය ලෙස පැතිරී යාම වැළැක්වීමයි.
එය ලබාගත යුතු වන්නේ කුමන අවස්ථාවකදීද?
  • බුබුළු මතු වී පළමු පැය 48 ඇතුළත ඖෂධය ලබා ගැනීම වැදගත්. ඒ අවස්ථාව මග හැරුණොත් සාර්ථක ප්‍රතිඵලයක් අත්වන්නේ නැහැ.
මේ තත්ත්වයේදී දරුවාට ඇතිවිය හැකි බලපෑම් මොනවාද?
  • එය තීරණය වන්නේ ගර්භනී කාල සීමාව අනුවයි. සති විස්සට නැතිනම් මාස 5 ට අඩු කාලයේදී මවට පැපොල වැළඳුණොත් දරුවාට බලපෑමක් ඇතිවන්නට පුළුවන්.
  • ඇස කුඩා වීම, ඇසේ ආසාදන ඇති වීම හෝ දරුවාට මතු කාලයේ පෙනීම නැතිවන්නට හෝ පුළුවන්. ඊට අමතරව ඇසේ සුද මතුවිය හැකියි.
  • සාමාන්‍ය දරුවකුට වඩා ඒ දරුවාගේ හිස කුඩා විය හැකියි. අක්මාව විශාල වීම හෝ අත් පා කොට විය හැකියි. කෙසේ වෙතත් එවැනි තත්ත්ව වලට යා හැකි අවස්ථා සීමිතයි. ඊට අමතරව සති 20 සිට සති 36 දක්වා කාලයේදී වැළඳුණොත් දරුවාට බලපෑමක් ඇතිවන්නේ නැහැ.
ගර්භනී සමයේ අවසන් මාසය අවදානම් සහිත වන්නේ ඇයි?
  • අන්තිම මාසය සහ දරුවා ප්‍රසූත කර පළමු සතිය ඇතුළත මවට පැපොල හැදුණොත් එහිදී දරුවාගේ ශරීරයට වෛරස ඇතුළු වෙනවා.
  • එය බැරෑරුම් වන්නේ අන්තිම මාසයේදී මවගෙන් දරුවාට ප්‍රතිදේහ ලබා ගන්නට ඉඩක් නැති නිසයි. ඒ අස්ථාවේදී දරුවාගේ මොළයට, හෘදයට බලපෑමක් ඇතිවිය හැකියි. එහිදීත් මවට ඒසයික්ලොවා ඖෂධය ලබා දී වෛරසය උදාසීන කරන්නට පියවර ගන්නවා.
  • එසේම දරු ප්‍රසූතිය ප්‍රමාද කරන්නට උත්සාහ දරනවා. එහි බලාපොරොත්තුව නම් ඒ කාල සීමාව ඇතුළත මවගෙන් දරුවාට ප්‍රතිදේහ ලබා ගැනීමට අවස්ථාව සැලසීමයි. ඊට අමතරව දරුවා ඉපදී දවස් දෙකකට පමණ පසු දරුවාට පැපොල වැළඳුණොත් , ඒ සඳහා ලබා දෙන තවත් එන්නතක් තිබෙනවා. එය ලබා දෙන්නේ දරුවාටයි. එය ප්‍රතිදේහ සහිත එන්නක්. දරුවාට අවශ්‍ය ප්‍රතිදේහ ලබා දීම එහි අරමුණයි.   
සමුද්‍රිකා වර්ණකුල

No comments:

Post a Comment