Tuesday, August 5, 2014

ගැබිනි සමයේ පළමු මාස තුන දරුවාගේ ජීවිතය තීරණය කරයි

ගැබිනි සමයේ පළමු මාස තුන දරුවාගේ ජීවිතය තීරණය කරයි

නිරෝගී දරු සම්පතක්‌ බලාපොරොත්තු වන කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකින් පසු පිළිපැදිය යුතු චර්යාවන් පිළිබඳව ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් කර ඇත්තේ මෙලෙසිනි. ගර්භනී කාන්තාවන් යනු තෙල් පිරවූ කළයක්‌ මෙනි. එබැවින් ගැබිනි කාන්තාවක්‌ රැකබලාගත යුත්තේ තෙල් පිරවූ කළය රැක ගන්නා අයුරිනි. මෙලෙස හඳුන්වා ඇත්තේ ගැබිනි කාන්තාව ඉතා පරෙස්‌සමින් රැකගත යුතු බැවිනි.

ගැබිනි කාන්තාවක්‌ දරු ප්‍රසූතිය දක්‌වා වූ කාලය තුළ සිය සැමියාගේ, දෙමාපියන්ගේ, අසල්වාසීන්ගේ සහ සමාජයේ ආදරයට පාත්‍ර විය යුතුය. ඇයගේ කුසින් නිරෝගී දරු සම්පතක්‌ සහ සමාජයට වැඩදායී පුරවැසියකු බිහි කළ හැක්‌කේ ගැබිනි සමයේ ඇයට ලැබෙන නිසි පෝෂණය මෙන්ම ආදරය, කරුණාව අනුවය.

ආයුර්වේදයට අනුව දරු කළලයක්‌ කොටස්‌ තුනකින් යුක්‌තය. ශුක්‍ර, ශෝනිත සහ ජීව එම කොටස්‌ තුනයි.

ශුක්‍ර යනු ශුක්‍රාණුවකි, ශෝනිත යනු ඩිම්භයකි. ජීව යනු විඥානයයි. නිරෝගී දරුවකු බිහිකිරීම සඳහා නිරෝගී ශුක්‍රාණුවක්‌, ඩිම්බයක්‌ මෙන්ම විඥානයකුත් අවශ්‍යය. විඥානය දරුවාට ලැබෙන්නේ මවගේ සිතුවිලි අනුවය. ඇය සතුටින් සිටී නම් දරුවාගේ විඥානය උසස්‌ය. ඇය දුකින් සිටී නම් දරුවාගේ විඥානය දුර්වලය. එබැවින් නිරෝගී දරු සම්පතක්‌ බලාපොරොත්තු වන සෑම කාන්තාවක්‌ම සැහැල්ලු මනසකින් සිටීම අත්‍යවශ්‍යය.

කාන්තාවකගේ ගර්භාෂය තුළ කළලයක්‌ වර්ධනයවීම ආරම්භවූ දා පටන් එම කළලය වර්ධනය වී නිරෝගී දරුවකු ලෙසින් ප්‍රසූත වනතුරු ගැබිනි කාන්තාව පිළිපැදිය යුතු චර්යාවන් රැසක්‌ ඇත. එබැවින් මෙවර අප පළමු මාස 03 තුළ පිළිපැදිය යුතු කරුණු පිළිබඳව මුලින්ම විමසා බලමු.

පළමු මාස 03

ගැබිනි සමයේ ඉතා වැදගත්ම අවදිය ලෙස සැලකෙන්නේ පළමු මාස තුනය. මෙම කාලය තුළ සිදුවන්නේ කළලය සකස්‌වීමය. ශුක්‍රාණුවක්‌ සහ ඩිම්බයක්‌ එකතුව සැකසුණු සෛල දෙකකින් යුත් යුක්‌තානුව අත් පා සහ හිස ලෙසින් සෛල බෙදෙමින් වර්ධනය වීමට පටන් ගනී. මෙය අංග ජනනය ලෙස හඳුන්වනු ලැබේ.

වමනය, කෑම අරූචිය ඇතිවීම

කළලය සෑදීමට අවශ්‍ය ශුක්‍රානුව කාන්තාවගේ සිරුරට ආගන්තුක දෙයකි. එබැවින් එය ඉවත් කිරීමට ඇයගේ සිරුර නිතරම උත්සාහ ගනී. කෑම අරූචිය, වමනය, අත්පා ඉදිමුම, මඳ උණ, බඩ බුරුලට යැම වැනි ලක්‍ෂණ පළමු දරු ප්‍රසූතියේදී ඇතිවන්නේ ශුක්‍රාණුවට එරෙහිව දක්‌වන ප්‍රතිචාරයන්ය. දෙවැනි දරු ප්‍රසූතියේ සිට මෙවැනි ප්‍රතිචාර එතරම් මතු නොවන්නේ කාන්තාවගේ ගර්භාෂයට ශුක්‍රාණුව අලුත් දෙයක්‌ නොවන නිසාය.

පෝෂණය ලබා ගැනීම

දරු කළලයට පළමු මාස තුන තුළ අවශ්‍ය වන්නේ එය වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණය නොව කළලය අංගසම්පූර්ණ ජීවියකු බවට පත්වීමට අවශ්‍ය පෝෂණයයි.

එබැවින් මෙම කාලය තුළ ද්‍රව, ශීත, මධුර යන ගුණවලින් යුත් ආහාර ගත යුතුය.

ද්‍රව ආහාර

ද්‍රව ආහාර ලෙස එළකිරි ඉතා පෝෂ්‍යදායී ආහාරයකි. එය පළමු මාස තුන තුළ ගැනීම ඉතා හොඳය. එසේම සහල්වලින් සැහැල්ලු ආහාර, ආහාර ලෙස සකස්‌ කළ සුප් කැඳ, බෙරිකරගත් බත් ආදිය සුදුසුය.

ශීත ආහාර

ශීත ආහාර ලෙස මුං ඇට වැනි ධාන්‍ය වර්ගයකින් සෑදූ ආහාර, තිරිඟු, පළා වර්ග ඉතා අගනේය. මෙම ආහාර දරු කළලයේ සෛල වර්ධනයට වැදගත්ය.

මධුර ආහාර

මධුර ආහාර ලෙස පලතුරු හැඳින්වේ.

මෙම ආහාර කටට ප්‍රිය උපදවන ලෙස සකස්‌කර ඉතා ස්‌වල්ප ප්‍රමාණයෙන් දිනකට වාර ගණනක්‌ ආහාරයට ගැනීම කළ හැකිය.

යහපත් විහරණ

ගැබිනි සමයේ පළමු මාස තුන තුළ ආහාර පාන මෙන්ම ඇඳුම්, පැළඳුම් ගමන් බිමන් ආදිය කෙරෙහිද විශේෂ අවධානය යොමු කළ යුතුය.

ගර්භයට හානි ගෙන දිය හැකි කටයුතුවලින් මිදීමට පියවර ගැනීම ඉතා වැදගත්ය. තනිව නිවසේ ජීවත්වීම, බිය උපදවන ශබ්ද ඇසීම, සොහොන් පිටි වැනි ස්‌ථාන වෙත ගමන් කිරීම, දුර ගමන් යැම, රතු ඇඳුම් ඇදීම ආදිය හොඳ නැත.

හැකිතාක්‌ විවේකීව, සැහැල්ලුවෙන් සතුටින් සිටිය යුතුය. සුදු පැහැති හෝ ළා පැහැති ඇඳුම්, පැළඳුම් පරිහරණය කළ යුතුය. ආගමික වතාවත්වල යෙදීමට පියවර ගත යුතුය.

මෙලෙස පළමු මාස තුන ගතකිරීමෙන් උපදින දරුවා නිරෝගී හොඳ පෞරුෂයකින් යුතු, බුද්ධිමත් දරුවකු බවට පත්වේ. එසේ නොවුණහොත් උපදින දරුවා දැඩි මානසික පීඩාවකින් යුත් කලහකාරී දරුවකු බවට පත් වේ.

ගැබිනි සමයේ මවට ඇතිවන දොළදුකින් පවසන රහස්‌ ලබන සතියේ විමසා බලමු.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

No comments:

Post a Comment