Tuesday, August 5, 2014

දොළදුක ඇතිවීම


http://cdn.medindia.net/health-images/pregnant-junk-food.jpgදොළදුක ඇතිවීම

නිරෝගී දරු ප්‍රසූතියකට අනුගමනය කළ යුතු ගැබිනි සමයේ වත් පිළිවෙත් හෙවත් ගර්භපරි චර්යාවේ පළමු පියවර ලෙස හැඳින්වෙන ගැබ් ගැනීමක්‌ සිදුවූ දින සිට මාස තුනක කාලය පිළිබඳව පසුගිය සතියේ අපගේ අවධානයට යොමුවිය.

පළමු මාස තුන තුළ සිදුවන්නේ හටගත් කලලය වර්ධනය වෙමින් ශරීර අවයව ඇතිවී දරුවකු නිර්මාණය වීමය. මෙය අංග අභිජනනය ලෙස හඳුන්වනු ලැබේ. මෙලෙස නිර්මාණය වූ දරුවකු කෙමෙන් කෙමෙන් වර්ධනය වීම සිදුවන්නේ ගර්භපරිචර්යාවේ දෙවැනි තෙවැනි පියවර වලදීය.

දෙවැනි පියවර

ගර්භපරිචර්යාවේ දෙවැනි පියවර ලෙස තෙවැනි මාසයේ සිට හයවැනි මාසය දක්‌වා වූ කාලය හැඳින්වේ. මෙම දෙවැනි පියවරේදී සිදුවන සුවිශේෂීම සිද්ධිය වනුයේ මෙතැන් පටන් දරු කලලය පෝෂණය කිරීමේ වගකීම වැදැමහ වෙත බාරවීමය. එනිසා වැදැමහ මගින් දරුවාට අවශ්‍ය පෝෂණය මවගේ සිරුර තුළින් උරාගනී. දරු කලල වර්ධනය ද ඉතා ශීඝ්‍රව සිදුවන බැවින් පෝෂණයද ඒ හා සමානව අවශ්‍ය වේ.

මෙම කාලය තුළ ගැබිනි මව ආහාරපාන ගත යුත්තේ තමාගේ පෝෂණයට මෙන්ම කුසේ වර්ධනය වන දරුවාටද ප්‍රමාණවත් වන අයුරිනි.

ගර්භපරිචර්යාවේ දෙවැනි පියවරේදී ගැබිනි මවට දොළදුක ඇතිවේ. එසේ වන්නේ දරුවන් හෘදය වස්‌තුව සම්පූර්ණයෙන්ම වර්ධනය වී ඇති බැවින් මවත් දරුවාත් අතර අදහස්‌ හුවමාරුවීමට පටන්ගන්නා බැවිනි. එබැවින් උපදින දරුවා කුමන ආකාරයේ ගතිපැවතුම් ඇති අයෙක්‌ දැයි කියා මෙම දොළදුක මගින් හඳුනාගත හැකිය. දොළදුක යනු දරුවාගේ ආශාවන්ය. එබැවින් ඇතැම් මව්වරුන් කිසිදා ආහාරයට නොගත් කෑම බීම ගැනීමට ප්‍රියකරති.

ගැබිනි සමයේ මවට ඇතිවන දොළදුක සංසිඳුවා ගැනීමට පියවර ගැනීම වැදගත්ය. මන්දයත් මෙය කුසෙහි සිටින දරුවා තුළ ඇතිවන ආශාවකි. එම ආශාව ඉටුවීමෙන් දරුවා සතුටට පත්වේ.

එසේම මෙම කාලයේදී මව ප්‍රොaටීන් බහුල ආහාර වැඩි වශයෙන් ආහාරයට ගත යුතුය. සත්ත්ව හෝ ශාඛ ආහාර තුළින් එය සිරුරට ලබා ගැනීමට පියවර ගත යුතුය.

දරු කලලයට මාස පහක්‌ පමණ සම්පූර්ණ වනවිට දරුවාගේ ශීඝ්‍ර වර්ධනයත් සිදුවන බැවින් නිසි පෝෂණය ලබාගැනීම අත්‍යවශ්‍යය. එසේ නොවුණහොත් මවගේ දත් දිරායැම, හන්දිපත් වේදනාව, නිරක්‌තිය ඇතිවීම ආදී අපහසුතා මතුවේ.

බොහෝ මව්වරුන් මෙම කාලයේදී පවසන දෙයක්‌ නම් තමාගේ පාද ඉදිමුමට ලක්‌වී ඇතිබවත්, ඇස්‌යට ඉදිමුමට ලක්‌වී ඇතිබවත්ය. මෙලෙස සිදුවන්නේ මව මන්දපෝෂණයට ලක්‌වීමෙනි, මෙම ලක්‍ෂණ වලින් පෙන්නුම් කරන්නේ මවගේ මන්දපෝෂණයයි. එනිසා මවට නිසි පෝෂණය ලබාදී මෙම තත්ත්වය නැකිකර ගත යුතුය. එසේ නොවුණහොත් මවට ගර්භ වලිප්පුව වැළඳිය හැකිය.

අතපය ඉදිමුමට නිසි ප්‍රතිකාර ලෙස නිසි පෝෂණය ලබා ගැනීමට මෙන්ම මුත්‍රා වැඩිපුර පිටවන ආහාරපාන ලබාදීමද වැදගත්ය. එහිදී හීං නෙරංචි, ගොකටු, ආහාරයට එක්‌කර ගත හැකිය.

මෙම කාලයේදී ඇතිවිය හැකි අධික රුධිර පීඩනය, මුත්‍රා ආසාධන, දියවැඩියාව වැනි රෝග කෙරෙහි වඩා සැලකිලිමත්වීම වැදගත්ය. එවැනි රෝග මතුවූවිට නිසිලෙස පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර වෛද්‍ය උපදෙස්‌ මත සිදු කළ යුතුය.

ලබන සතියේ ගර්භපරිචර්යාවේ තෙවැනි පියවර

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

No comments:

Post a Comment