Monday, August 18, 2014

ගර්භණී කාලයේදී මවට ඇතිවන ගැටලු 20ක්

1. ගර්භණී කාලයේදී අසාමාන්‍ය ලෙස ඇතිවන අධික වමනය රෝගයක්ද?

මුල් ගර්භණී අවධියේදී වමනය, ඔක්කාරය ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඒත් ප්‍රමාණය ඉක්මවා වමනය නිසා මවට අපහසුතාවක් ඇති වූයේ නම් වෛද්‍ය උපදෙස්වලට යොමු වී ප්‍රතිකාර ලබා ගැනීම අතිශයින්ම වැදගත්. විශේෂයෙන් ගර්භණී සමයේදී ඇතිවන Hyperemesis gravidarum හෙවත් ගර්භණී අවස්ථාවේ ඔක්කාරය මවගේ වකුගඩු ක්‍රියාකාරීත්වය ඇතුළු අංග ගණනාවකට බලපෑම් කළ හැකි රෝගී තත්ත්වයකි. මේ තත්ත්වය ගර්භණී කාන්තාවන්ගෙන් සියයට 75ක් - 85ක් අතර පිරිසකට පවතින රෝගී තත්ත්වයකි.

2. අසාමාන්‍ය ලෙස කකුල් ඉදිමීමට කළ යුත්තේ කුමක්ද?

ගර්භණීතාවයේ සාමාන්‍ය තත්ත්වයක් ලෙස කකුල් ඉදිමුම හඳුනාගත හැකි වුවත් මෙලෙස යටි පතුල්, දෙපා ඉදිමුම සඳහා හේතුව කුමක්ද යන්න විමසා බැලීමට වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගන්න. මුහුණ, අත්, පා මෙලෙස ඉදිමී ඇති නම් ඒ සඳහා හේතු වී ඇත්තේ අධික රුධිර පීඩනය විය හැකිය. මේ ඉදිමුම රුධිර පීඩනයෙන් වෙන් කර හඳුනා ගැනීම වැදගත් කරුණකි. ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.

3. ගර්භණී සමයේ බර වැඩ කිරීමෙන් මවට හා දරුවාට සිදුවිය හැකි හානිය කෙබඳුද?

ගර්භණී සමයේ මුල් මාස තුන ඇතුළත හැකි තරම් බර වැඩවලින් අෑත් විය යුතුය. එමෙන්ම ගර්භණී කාලය අවසන් වන තෙක්ම වඩා වෙහෙසකාරී කටයුතුවල යෙදීම නිසා මවට මෙන්ම කුසේ සිටින දරුවාටද යම්කිසි හානියක් එල්ල වියහැකිය. ගර්භණී කාලය ඇතුළත මවට මෙන්ම දරුවාටද ශක්තිය අවශ්‍ය වෙයි. වඩා වෙහෙසකාරී කටයුතුවල යෙදීම නිසා ශක්තිය වැඩියෙන් වැය වේ. මේ නිසා,

• අඩු බර උපත් ඇති වීම.

• ගබ්සා වීමේ අවදානම.

• නොමේරූ ළදරුවන් බිහි වීම.

• සාමාන්‍ය නිරෝගීතාවයෙන් තොර දරුවන් බිහි වීම.

4. ගැබ් ගැනීම පිළිබඳ මවගේ නොදැනුම්වත්කම නිසා ගන්නා ආහාරපානවලින් ඇතිවිය හැකි අනතුරු මොනවාද?

වෛද්‍ය විද්‍යාවට අනුව මවට ආහාරවලින් අගුණතා පෙන්නුම් නොකරයි. එහෙත් ඇතැම් ආහාර ගැනීමෙන් ගබ්සා වීම් ඇති විය හැකි ආකාරය පිළිබඳ ජන වහරේ කියැවේ. මේවා පිළිබඳ සාක්‍ෂි සහිත නිදසුන් නොමැත. එහෙත් යම් කිසි මවකට යම් ආහාරයක් ගැනීමෙන් ආසාත්මිකතා ඇති වූයේ නම් එවැනි ආහාරවලින් වැළකී සිටීම වැදගත් කරුණකි. ගර්භණී සමයත් සමඟම මව අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳීමට සිදුවන නිසා දැවිල්ල අධික ආහාර, තෙල් ආහාර ආදියෙන් පරිස්සම් විය යුතුය.

5. සිසේරියන් සැත්කමක් කිරීමට සිදුවන්නේ ඇයි?

සිසේරියන් සැත්කම කිරීමට හේතුවන ප්‍රධාන සාධක අතර මවගේ හා දරුවාගේ හේතු සාධක පවතී. දරුවා සම්බන්ධ හේතු වශයෙන්,

• දරුවාගේ බර වැඩි වීම.

• දරුවාගේ හෘදයේ ශබ්දය අඩු වීම.

• බහු ගර්භණීතාව (නිවුන්, තුන් නිවුන් ආදී)

• නොමේරූ දරුවන්.

මවට ඇති විය හැකි අපහසුතා නිසාද සිසේරියන් සැත්කම නියම කරයි. මව දියවැඩියා රෝගියෙක් නම් මේ පිළිබඳ සලකා බලයි. මව හදිසි අනතුරකට පත්වීම හෝ එවැනි හේතුවක් නිසා ඇතිවන රුධිර වහනය නිසාද මවගේ වැදෑමහ පහළින් පිහිටීම නිසාත් සිසේරියන් සැත්කම කිරීමට සිදු වේ.

6. සිසේරියන් සැත්කමට භාජන වූ මවකට එම සැත්කම ඔස්සේ උපරිම දරුවන් කී දෙනෙක් බිහි කළ හැකිද?

සාමාන්‍යයෙන් දක්වන ආකාරයට මේ ගණන 3කි. මෙයට හේතුව වන්නේ ගර්භාෂය සම්බන්ධයෙන් ඇති වන ගැටලුකාරී තත්ත්වයකි. එහෙත් දරුවන් සංඛ්‍යාව සහ මවගේ සෞඛ්‍ය තත්ත්වයට අනුව මේ දරුවන් සංඛ්‍යාව 4 දක්වා ඉහළ යන අවස්ථාද තිබේ.

7. පළමු දරුවා සිසේරියන් සැත්කමට භාජනය කළ පසු දෙවැනි දරුවාත් සිසේරියන් සැත්කමට භාජන කළ යුතුද?

පළමුවෙන් මව සිසේරියන් සැත්කමට භාජනය කිරීමට හේතුව විමසා බැලීමෙන් මේ තත්ත්වය වෙනස් විය හැකිය. මුල්ම දරුවා මවගේ වැදෑමහ පහළින් පිහිටීම නිසා සිසේරියන් සැත්කමට භාජන කළත්, දෙවැනි දරුවා බිහි කිරීමේදී වැදෑමහ සාමාන්‍ය තත්ත්වයට පත් වී තිබේ නම් නැවැතත් සිසේරියන් සැත්කමක් කිරීමට අවශ්‍ය නැත.

8. ගර්භණී කාලයේ තේ‍රඩින් කිරීම, ක්‍යුටෙක්ස්, ලිප්ස්ටික් භාවිතය, හිස කෙස් ඩයි කිරීම, රුව වඩන පෙති භාවිතය සුදුසුද?

සමට බාහිරින් සිදු කරන දේවල්වලින් අහිත කර තත්ත්වයක් ඇති නොවුණත්, ආසාත්මික වූයේ නම් පමණක් ඒවායෙන් වළකින්න. විශේෂයෙන් රුව වැඩීමට පෙති භාවිතය ගර්භණී මවට සුදුසු නැත. එවැනි පෙති භාවිත කිරීමට පෙර විශේෂඥ වෛද්‍ය උපදෙස් ගන්න.

9. ගර්භණී සමයේ මවගේ රෝගී තත්ත්ව දරුවාට බලපානවාද?

මව දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග වැනි නිදන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළේ නම් ඒ පිළිබඳ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා දැනුම්වත් කළ යුතුය. එමෙන්ම මේ සඳහා නිසි ප්‍රතිකාරවලට යොමු විය යුතුය. මව ගර්භණී කාලයේ පැපොල රෝගයෙන් පෙළේ නම් මේ රෝගී තත්ත්වය දරුවාටද ඇති විය හැකිය. මවගේ නියුමෝනියාව, ඇදුම වැනි රෝග දරුවාට බලපාන බැවින් නියමිත ප්‍රතිකාරවලට යොමු වන්න.

10. හදිසි අනතුරු, වැටීම්. තැළීම් නිසා අධික රුධිර වහනයක් සිදු වූයේ නම්?

කුමන හෝ රුධිර වහනයක් සිදු වූයේ නම් අනිවාර්යයෙන්ම රෝහල් ගත විය යුතුය. මෙවැනි හදිසි අනතුරු නිසා දරුවාට ප්‍රබල හානියක් සිදු විය හැකි නිසා ඔබේ ආරක්‍ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.

11. පළමු දරුවා ගබ්සා වුවහොත් දෙවැනි දරුවා ගබ්සා වීමට අවදානමක් තිබේද?

මෙවැනි අනියත බියක් ඇතිකර ගත යුතු නැත. එහෙත් දරුවන් කිහිපදෙනක්ම ගබ්සා වූයේ නම් අවදානමක් තිබේ. මුල් දරුවා ගබ්සා වූයේ නම් ඊළඟ දරුවා පරිස්සම් කර ගත යුතු ආකාරය පිළිබඳ වෛද්‍යවරයා උපදෙස් ලබා දෙයි. වයස අවුරුදු 30ට අඩු මවක් ගබ්සා වීම එතරම් බිය විය යුතු දෙයක් නොවන අතර 30ට වැඩි මවක් ගබ්සා වීම නම් ගැටලුකාරී තත්ත්වයකි. වෛද්‍ය උපදෙස්වලට යොමු වීම අතිශය වැදගත් කරුණකි.

12. මව අඩුබර නම් දරුවා අඩුබර වෙනවද? එය වළක්වා ගන්නේ කෙසේද?

මවගේ ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් BMI අගය නියමිත පරිදි පවත්වා ගත නොහැකි වූයේ නම් අඩු බර උපතක් අපේක්‍ෂා කළ හැකිය. මෙහිදී මවගේ පෝෂණ උෟනතා මඟ හරවා ගැනීම, රෝගී තත්ත්වයන්ට නියමිත ප්‍රතිකාර ගැනීම, නියමිත බර පවත්වා ගැනීම මඟින් නිරෝගී දරු සම්පතක් ලබාගත හැකිය.

13. පළමු දරුවා විකෘති නම් දෙවැනි දරුවාත් විකෘත වීමට අවදානමක් තිබේද?

මුල් දරුවා විකෘති නම් ඒ සඳහා හේතු සාධක සොයා බැලිය යුතුය. විශේෂයෙන්,

• ලේ ඥාති සම්බන්ධතා

• ජානමය ප්‍රශ්න

මෙහිදී ජානමය ප්‍රශ්න තිබේ නම් නැවතත් ගර්භණීතාව අපේක්‍ෂා නොකරන ලෙසට මවට උපදෙස් ලබා දෙයි.

14. රසායනාගාර හෝ එවැනි රසායනික ද්‍රව්‍ය සමඟ නිරන්තරව ගැටීමට මවකට සිදු වූයේ නම් දරුවාට ඉන් බලපෑමක් සිදු විය හැකිද?

ආඝ්‍රාණයත් සමඟ මේ විස ද්‍රව්‍ය මවගේ ශරීරයට ඇතුළු විය හැකිය. ඒවා ස්පර්ශයෙන්ද මවගේ ශරීර ගත විය හැකිය. ඒ ඒ රසායනික ද්‍රව්‍යයේ විස ස්වභාවය අනුව වෙනස් වුවද මෙවැනි රසායනික විස ද්‍රව්‍ය ගර්භණී මවට සුදුසු නැත.

15. ගර්භණී මව පිසීමට හා ආහාරයට ගැනීමට භාවිත කරන උපකරණවලින් ඇති විය හැකි හානිය කෙබඳුද?

ඇලුමිනියම් භාජනවලින් හැකි තරම් අෑත් වී මැටි හා මල නොබැඳෙන වානේ උපකරණ භාවිතයට ගන්නේ නම් වඩා හොඳයි. මෙය රෝග රැසකින් ආරක්‍ෂා වීමට හේතු වන්නකි.

16. මව ඇතැම් සුවඳ ද්‍රව්‍ය ආඝ්‍රාණය කිරීම නිසා දරුවාට ඇති විය හැකි බලපෑම කෙසේද?

ඇදුම රෝගයෙන් පෙළෙන මවක් නම් (Air freshner) සුවඳ ද්‍රව්‍ය ආඝ්‍රාණය කිරීමෙන් එම රෝගී තත්ත්වය වර්ධනය වීමට හැකියාව පවතී. එය කුසේ සිටින දරුවාටත් බලපෑමක් විය හැකිය. එහෙත් යම්කිසි මවකට එවැනි සුවඳ ද්‍රව්‍ය නිසා අපහසුවක් ඇති වූයේ නම් පමණක් ඉන් අෑත් වන්න.

17. ගර්භණී මව වේදනා නාශක ගැනීමේදී පරිස්සම් විය යුතුද?

වෛද්‍ය උපදෙස් මත ඒවාට යොමු වන්න. නියමිත ප්‍රමාණයෙන් ලබා ගැනීම වරදක් නැත.

18. අවදානම් සහිත මවක් ආරක්‍ෂා විය යුත්තේ කෙසේද?

ගර්භණී සමයේ අතුරු ආබාධ ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතී. වයස අවුරුදු 17ට අඩු නම් හා 35ට වැඩි නම් මව විශේෂ අවධානයකින් පසුවිය යුතුය.

• පළමු වර ගැබ් ගැනීම, පස් වැනි වර හෝ පස් වැනිවර ඉක්ම වූ ගැබ් ගැනීම.

• පෙර ගබ්සා වීම්

• මළ දරු උපත්

• මවගේ නිධන් ගත රෝග

• පූර්ව ප්‍රසව රුධිර වහනය වැනි රෝගී තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කරමින් වෛද්‍ය උපදෙස්වලට යොමු වන්න.

19. කායික හා මානසික වශයෙන් පූර්ණ වූ දරුවකු බිහි කරන්නේ කෙසේද?

මවගේ හා පියාගේ මානසික තත්ත්වය දරුවාට සෘජුවම බලපාන බැවින් ගර්භණී සමය තුළ මවුපිය දෙපළගේ මානසික තත්ත්වය උපරිම අයුරින් පවත්වා ගත යුතුය.

• මව නිතර සතුටින් කාලය ගත කිරීම.

• පොත්පත් කියැවීම, දරු සෙනෙහස පිළිබඳ ගීත, චිත්‍රපට රසවිඳීම.

• ආගමික කටයුතුවල නිරත වීම වැනි එදිනෙදා සරලව කළ හැකි ක්‍රියාකාරකම්වල යෙදෙන්න.

20. ගර්භණී මවට ඇයගේ සැමියාගෙන් ඉටුවිය යුතු වගකීම කෙසේද?

ගැබිනි මවට නිතර හිතරක චර්යාවන් පවත්වා ගැනීමට ඇයගේ සැමියාගෙන් උපරිම සහයෝගය අවශ්‍ය වෙයි. විශේෂයෙන් මද්‍යසාර හා දුම් වැටි භාවිතයෙන් ඉවත් වීම මවගේ මෙන්ම දරුවාගේද සෞඛ්‍යයට හිතකරය. මවගේ අවදානම් තත්ත්ව පිළිබ¼ද නිරන්තර අවදි‍ේ සිටීමත් අවබෝධයෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වීමත් මේ අතර ප්‍රධාන වෙයි.

ලයනි රසිකා නිරෝෂිණී

No comments:

Post a Comment